ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය - World Autism Awareness Day

දිනය - අප්‍රේල් 02
ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය
World Autism Awareness Day


[🌐එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන / ප්‍රකාශයට පත් කර ඇති නිල වාර්ෂික ජාත්‍යන්තර දිනයකි.🌐]

ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය සෑම වසරකම අප්‍රේල් 02 දිනට යෙදී ඇත.

~ඔටිසම් යනු කුමක්ද?~
ඔටිසම් රෝගය යනු දරුවෙකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයකි. මෙය ලෝකයේ වැඩි වන ප්‍රවණතාවයක් සහිත වර්ධන තත්වයන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන තිබේ. එනම් දිනෙන් දින ලෝකය පුරා මෙම රෝගයට ගොදුරු වන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ඇමෙරිකාවේ ඕට්සම් තත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය 1:68 ක් වන අතර ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 1:93 ක් ලෙස හඳුනාගෙන ඇත.
ගෝලීය ජනගහනයෙන් 2% ක් පමණ ජනගහනයක් ඔටිසම් රෝගයෙන් පෙළෙනු ලැබේ. නිශ්චිතම සංඛ්‍යාවක් ගණනය කොට පෙන්විය නොහැකි වුවද ලොව පුර මිලියන ගණනක් ජනතාව ඔටිසම් රෝගය හේතුවෙන් පීඩා විදිනු ඇතැයි සැලකේ. ලංකාවේ ගත් කළ සිය දහස් ගණනක් හෝ දස දහස් ගණනක් වූ ජනතාව ඔටිසම් ආබාධ සහිතව ජීවත් වීමේ හැකියාවක් ඇත.


~රෝගයේ ඉතිහාසය~
ඔටිසම් රෝගී තත්ත්වය පිළිබඳ මුලින්ම හඳුනාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ  ජෝන් හොප්කින්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය ලියෝ කැනර් මහතා විසිනි. ඒ 1943 වසරේදී සෙමෙන් මනස වැඩෙන දරුවන් ලෙස හදුනාගෙන තිබු දරුවන් පිරිසක් නිරීක්ෂණය කිරීමේදීය.

~රෝගය පිළිබඳව විස්තර තවදුරටත්..~
ගෝලීය වශයෙන් ඕටිසම් තත්‍‍වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය 1% ක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙම තත්වය ඕනෑම තරාතිරමක දරුවෙකුට ඇති විය හැකිය. එසේම පිරිමි දරුවන්ට ඇති වීමේ අවධානම ඉහළ මට්ටමක පවතී. එය පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් අතර 4:1 ක අනුපාතයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වයට හේතූන් ලෙස ජාන සහ පාරිසරික තත්වයන්ගේ අන්තර්ක්‍රියා බලපාන බව පර්යේෂකයන්  විසින් අනාවරණය කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ගත් විට වසරකට උපදින දරුවන් 375,000 ගෙන් 3,750 කට මෙම තත්ත්වය ඇතිවන අතර දරුවන් පරීක්ෂා කිරීම තුලින් මෙම රෝග තත්ත්වය හදුනා ගතහැකිය.

වර්තමානය වනවිට (2020 වර්ෂය) මෙම රෝග තත්ත්වය 50 % කින් පමණ වැඩිවනු ඇතැයි අනුමාන කරන අතර හදුනාගන්නා රෝගීන්ට ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගතහැකි බවද සොයා ගෙන ඇත.

~ඕටිසම් තත්වය හඳුනාගන්නා ආකාරය~

රතු සංඥා සලකුණු (Red Flag signs)
මෙය මුල් අවධියේම සැළකිල්ලට ගත යුතු ලක්ෂණයි.
එහි විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.

• මාස 12 ක් වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම.
• මාස 12 ක් වන විට දරුවා ඇගිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම.
• මාස 16 ක් වන විට දරුවා තනි වචන නොපවැසීම.
• මාස 24 ක් වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.
• ඕනෑම අවධියකදී දරුවා ලබා ගත් වර්ධන කුසලතා නැතිවී යා හැකි වීම.

ඕට්සම් තත්වයේ මූලික රෝග ලක්ෂණ කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගැනීමට හැකි වී තිබේ.

1..සමාජ සම්බන්ධතාවයන්ගේ හා සන්නිවේදන ගැටළු
{ඇසට ඇස බලා කතා නොකිරීම, යහළුවන් ඇති කර නොගැනීම, ස්ව කැමැත්තෙන් තනිව සෙල්ලම් කිරීමට, වයසට නොගැලපෙන ලෙසින් සෙල්ලම් කිරීම , සිත තුළ ඇති දේ ප්‍රකාශ කිරීමේ අපහසුව, අන් අයගේ හැගීම්/නියෝග/ප්‍රකාශ හඳුනාගැනීමේ අපහසුව, එකම වචනය නැවත නැවත උච්ඡාරණය, අරමුණකින් හෝ හේතුවකින් තොරව හැඩීම සහ සිනාසීම.}

2..සීමිත ප්‍රියතාවයන් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරී බවයි.
{යම් දෙයක් කෙරෙහි ඇති දැඩි කැමැත්ත/දැඩි අකමැත්ත, වෙනස්කම් වලට දක්වන දැඩි අකමැත්ත, සෙල්ලම් කිරිමේදී සෙල්ලම් භාණ්ඩයේ කොටසකට පමණක් දැඩි ලැදිකමක් දැක්වීම.}

ප්‍රතිකාර
මෙම තත්වයට ඖෂධ ප්‍රතිකාර කිරීමක් සිදු නොකරයි. ළමා මනෝ වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීම යෝග්‍ය වේ.

එමගින් ඔටිසම් තත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තිය චිකිත්සාව, කථන පුහුණුව ඇතුළු චර්යාමය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ය.

දිනකට අවම වශයෙන් පැය 04 ක පමණ කාලයක් දරුවා සමග ක්‍රියාකාරම්වල යෙදීම යෝග්‍ය වේ.  මෙම දරුවන්ට ද සාමාන්‍ය දරුවන්ට මෙන්ම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීම තුළින් සමාජයට හුරුකිරීම තුළින් ඔවුන්ගේ කුසලතා දියුණු කළ හැකි ය.  මෙවැනි දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස සලකා ඔවුන්ගේ ආරක්ෂාව සහ වර්ධනයට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම වැදගත්ය.

වැඩිදුර විස්තර සදහා
https://www.un.org/en/observances/autism-day
(සමීර ගුරුසිංහ - අප්‍රේල්_02_Outism)

Comments

Popular posts from this blog

ජගත් මිහිතල/මිහිකත දිනය - World Earth Day

ලෝක සෞඛ්‍ය දිනය - World Health Day

සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය - International Day of Sport for Development and Peace